elcom2

 

 

 

අපගේ දැක්ම
"මහජන හිතකාමි කාර්යක්ෂම රාජ්‍ය සේවයක්"

අපගේ මෙහෙවර
"රාජ්‍යප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතාසහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම, තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක්තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම" 

අප ගැන

පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිරිත දිග මායිමට වන්නට පිහිටා ඇත.මෙය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හා සලකා බැලූ විට විශාල පරිපාලන කොට්ඨාශයක් වශයෙන් හදුන්වා දිය හැකිය.

වර්ග කිලෝමීටර 275 කින් සමන්විත මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මැතිවරණ කොට්ඨාශය කටුගම්පළ මැතිවරණ කොට්ඨාශය වන අතර පළාත් පාලන ආයතනය වශයෙන් පන්නල ප්‍රාදේශීය සභාව හදුන්වා දිය හැකිය.එය හමන්ගල්ල , යක්විල , මාකදුර යන උප කාර්යාල 03ක් වශයෙන් බෙදා පාලනය කරනු ලබයි.එසේම මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය නැගෙනහිර කෝරළය, බටහිර කෝරළය, පිටිගල් කෝරළය වශයෙන් 03ට බෙදා ඇත.

ප්‍රධාන නාගරික කළාප ආශ්‍රිතව ජනාතාව බහුල වශයෙන් ඒකරාශී වී ඇති අතර කොට්ඨාශයේ බහුතරයක් සිංහල බෞද්ධ ජනතාව වන අතර ද්‍රවිඩ, මුස්ලිම් සහ බර්ගර් ජනතාවද සුළු වශයෙන් වාසය කරති.මෙහි ජනගහනය සංඛ්‍යාත්මකව 133738 කි.

ගිරිඋල්ල හා පන්නල ලෙස ප්‍රධාන පොලිස් බල ප්‍රදේශ දෙකකින් සමන්විත වන අතර ග්‍රාම නිලධාරි වසම් 63ක් පන්නල පොලිස් බල ප්‍රදේශයටද ඉතිරි වසම් 24 ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයටද අයත් වේ.

කුලියාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් වෙන්ව උප කාර්යාලයක් වශයෙන් ආරම්භයේදී ස්ථාපිත වී ඇති අතර එකල ග්‍රාම නිලධාරි වසම් 22ක් පැවත ඇත.1976 දී උප දිසාපති කාර්යාලයක් බවට පත් වූ අතර 1990 දී ග්‍රාම නිලධාරි වසම් 87කින් සමන්විතව ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයක් බවට පත්ව ඇත.

භූ ගෝලීය පිහිටීම


පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිරපේක්ෂ පිහිටීම 1:63360 පරිමාණයේ සිතියම තුල නැගෙනහිර ඛණ්ඩාංක 230-250 හා උතුරු ඛණ්ඩාංක 100-140 තුළ පිහිටා ඇත. ග්‍රාම නිලධාරි වසම් 87 කින් හා ගම්මාන 205 කින් සමන්විත පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පන්නල නගරය කේන්ද්‍ර කරගත් ගිරිඋල්ල හා මාකදුර උප නගර දෙකකින් සමන්විත වේ.

පන්නල ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාශයේ නැගෙනහිර මායිම වශයෙන් කුරුණෑගල මීගමුව මහා මාර්ගයෙහි 19 වන සැතපුම් කණුව පසුවීමත් සමග හමුවන මාහරගම පාලම සළකනු ලැබේ.නැගෙනහිර සිට බස්නාහිරට ගලා බස්නා රමණීය මා ඔය මෙම කොට්ඨාශයේ දකුණු මායිම වේ.මෙහි සීමාව හෙමුඩාව ගම වේ.නැගෙනහිර මායිම ක්‍රමයෙන් උතුරට ව්‍යාප්තව කුළියාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි දකුණු මායිම දක්වා ව්‍යාප්තව ඇත.කොට්ඨෘශයේ බටහිර මායිම ලංසිගොඩැල්ල , සිංගක්කුළිය , හෙට්ටිරිප්පුව හා මැල්ලව යන ගම් හරහා උතුරු මායිම දක්වා විහිදේ.උතුරු මායිම හුන්දිරාපොළ , රාවිට , ගල්ලැහැමුල්ල හා නාඹිරිත්තන්කඩවර යන ගම් ඇතුළත්ව කටුගම්පල ග්‍රාමය දක්වා ව්‍යාප්තව ඇත.

මෙම කොට්ඨාශයට උතුරු දෙසින් කුලියාපිටිය නැගෙනහිර හා කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සම්බන්ධ වේ.දකුණු මායිම වන මා ඔයට ඔබ්බෙන් දිවුලපිටිය හා මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පිහිටා තිබේ.නැගෙනහිරින් නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටා ඇති අතර  බටහිරින් දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටා ඇත.

ඓතිහාසික තොරතුරු

පන්නල නගරයේ ඓතිහාසික පසුබිම පිළිබද සොයා බැලීමේදී ජනප්‍රවාදයේ එන කථා කිහිපයක් ගැන දක්නට ලැබේ.පෘතුගීසි පාලන සමයේ දී අද පන්නල නමින් හැදින්වෙන ස්ථානයෙහි පෘතුගීසි කදවුරු බැදගෙන සිටිය බව ජනප්‍රවාදයෙහි කියවේ.ඔවුන් කදවුරු බැද සිටි තැනින් එලවා දැමූ හෙවත් පන්නා දැමු ස්ථානය පන්නල නම් වූ බවත් එක් ජනප්‍රවාදයකි.

එමෙන්ම දැනට අවුරුදු සිය ගණනකට පෙර අද පන්නල නමින් හැදින්වෙන භූමි ප්‍රදේශය වගුරු බිමක් ලෙසින් පැවති ස්ථානයක් බව කියවේ.එම වගුරු බිම විශාල වශයෙන් පන් වලින් වැසී තිබූ බවත්, අල සහිත වූ පන් වර්ගයක් තිබූ නිසා පන් අල පන්නල වූ බවත් ජනප්‍රවාදයේ  එන තවත් මතයකි.

එමෙන්ම පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල ඓතිහාසික වශයෙන් වැදගත් වන ස්ථාන කිහිපයක්ද පිහිටා ඇත.ඒවා පහත දැක්වේ,

  • මැද්දේපොළ පුරාණ විහාරය
  • වනමන්දාව පුරාණ විහාරය
  • බෝපිටිය ශ්‍රී සුදර්ශනාරාමය
  • වත්තේගෙදර මුරුතැන්ගේ කණුගල විහාරය
  • කොටුවැල්ල අම්බලම

පුවත් සහ සිදුවීම්

Scroll To Top